රැවටිච්චී පොල්කිච්චී …… සෙනසුරාදා, ජූලි 10 2010 

විමලේ බොහො දෙනෙකුගේ නෙතට කඳුලක් නංවමින් උපවාසය අවසන් කර ඇත. අතිගරු ජනාධිපති උතුමානන්ගේ කරුනාබරිත ඉල්ලිම ඉවත නොදැමිය නොහකි නිසාවෙන් තම මාරාන්තික උපවාසය අත් හැර ඇත. හැඟීම්බර මිනිසුන්ගේ හුරේ හඬ මැද ජයග්‍රහනයෙන් හෝ මරණයෙන් තොරව අවසන් නොකරන බවට ශපත වූ උපවාසය ඒ ජනතාවගේම හුරෙ හඬ මැද අවසන් කෙරුනි. මෝඩ මිනිසුන් කිහිප දෙනුකු හැර, අන් සියලු දෙනා බලපොරොත්තු වූ ලෙසම නාටකයේ අවසානය සිදු විය. චරිතය රඟ පෑ යුත්තේ නාටකයේ අදියුරුට අවැසි ලෙස බැවින් අවසානය පිළිබඳ නලුවාට දොස් තැබීමෙන් පලක් නැත.

නමුත් විමලේගේ උපවාසය ශ්‍රි ලාංකික අර්ධ මානවකයින් වෙත ප්‍රශ්න කිහිපයක් ඉතුර කර ඇත. ඒවා නම්:

1. බෑන් කී මූන්ගේ කමිටුව පිලිබඳ ලෝක අවධානය යොමු කර වීම.

2. ඒකබද්ධ විරොධතා ලිපියකට අත්සන් කිරීමට සිටි නොබැඳී ජාති රටවල් බොහොමයක් ඉන් වැලැක් වීම.

3. ශ්‍රී ලංකීය ජනතාව තමිල්නාඩු ජනතාවගේ පරි පූර්ණ කොපි කැට් එකක් බව ජාත්යන්තරයට කියා පෑම.

නමුත් මහින්දගේ යුධ ජයග්‍රහනයෙන් ඔද වැඩි අයි ටී එන් පසු වදන බලන ජනයාට මේ කිසි වෙකින් වැඩක් නැත. දින හතරක කාලයක් ගංවතුර, මිනි මැරුම්,කප්පම් සීන් නොමැතිව තලු මරීමට කිසිත් නොමැතිව සිටි ජනයාට ට්‍රැජිඩියක් ලෙස රඟ දැක්වූ කොමඩියක් දැක බලා ගැනීමේ අවස්තාව හිමි වුනි.

88-89 වකවානුවෙහි මරණය හමුවේ, අනෙකුන් අත හැර පලා ගිය විමලේ, රජ සැප විඳිමින් මරණයට මුහුන නොදෙන බැව් ඔහුගේ සමකාලීනයින් දන්නා මුත් අති මහත් බහුතරය එය නොදනී. දන්නා වුනුත් සිදු වූ අතීතයට වඩා නොසිදු වන අනාගතය ගැන නෙත් දල්වා සිටිති. අවසානයේ රත්වත්තෙගේ සහ ජෙයරාජ්ගෙ ගොඩට වැටුනු විමලේට අවම වශයෙන් තිලීපන්ගේ තත්වයට සම වීමටවත් නොහකි විය.

නමුත් විමලේට තවත් අවස්ථා ඇත. ලංකාව ලෝකය ඉදිරියේ පච කිරීමට තවත් අවස්තා ඇත. මන්ද ලංකාවට දේශප්‍රේමය යනු සුද්දාට සිංහලෙන් බැන වැදීම බැවිනි.

බෑන් කී මූන් විසින් විමලේගේ නැට්ට කැපූ මෙ අවස්තාවෙ එකක් කිව යුතුය. එනම් විමලේට වඩා ජාතිවාදී වූ, විමලේට වඩා යුධ ජයග්‍රහනයට අයිතිවාසිකම් කිව හැකි චම්පික, විමලේට වඩා සිය ගුණයක් බුද්ධිමත් බවය. මහින්දට දෙක පුන වාර ගනන සාපෙක්ශව අඩු බවය.

විමලේ වෙනුවෙන් හුරේ දැමූ, මෝඩ චූන් කාරයින් හට කියන්නට ඇත්තේ එකම එක දෙයකි.

“රැවටිච්චී පොල්කිච්චී කැන්ද ගහේ එල්ලිච්චි”

පොලිස් රෙප්ලා ඉරිදා, ජූලි 4 2010 

පෞද්ගලික කටයුත්තකට මාතර ගොස් එමින් සිටි ගාල්ල නගර සීමාව පසු කලා විතරයි. එක් වරම බෝක්කුවක් අස්සෙන් එලියට පැනපු පොලිස් නිලධාරියෙක් වාහනය නතර කරන ලෙස සංඥා කලා. ඔවුන් පසු කල මම වාහනය නතර කලා. වාහනය අසලට පැමිනි පොලිස් නිලධාරි තුමා “කරුනාකරල ලයිසන් අරන් එන්න කියල බොහොම කරුණාවෙන් කිව්ව.

මමත් අවශ්‍ය ලියකියවිලි ටිකත් අරන් බැහලා පොලිස් බයිසිකලය ගාව හිටපු ලොකු නිලධාරී තුමා ගාවට ගිහිල්ල ඇහුවා ඇයි මාව නැවැත්තුවෙ කියලා.

“මහත්තය අධික වේගයෙන් වාහනය පැදෙව්වෙ. මම අහුවා වේගය කීයද කියලා.

“63 යි”

“63යි??” මම පුනුරුච්චාරනය කලා.

“ඔව්. නගර සීමාවෙ 60ට වැඩියෙන් වේගෙන් යන්න බැහැ”.මෑන්ස් හරී ආඩම්බර විදියට කිව්ව.

“ඉතින් මෙහෙ මුකුත් වේග සීමා ගහල නැහැනෙ” කියල මම කිව්ව.

“ගහල නැති උනාට ඒව දැනගන්න ඕන” කියල පොලිස් මෑන් කිව්ව.

“ඔය හයිස්පීඩ් අල්ලන එක තහනම් කලා නේද උසාවි නියෝගයකින්” මම බොහොම යටහත් පහත් විදිහට ඇහුවා.

‘ඒ ඉස්සර” මෑන් නක්කල් හිනාවකුත් එක්ක කිව්ව.

“හර හරි මේක දැන් උසාවි දාන්න ඕන නඩුවක්. දඩ කොලත් නැහැ.” කියල මැන්ස් නඩු ලියන පොත ගත්තා.

ආපහු කොළඹ ඉඳන් ගාලු ඇවිත් උසාවි ගානෙ රස්තියාදු වෙන රූප පෙලක් මගෙ හිතේ ඇඳෙන්න ගත්ත.

“මහත්තය එහෙම කරන්න එපා, ආපහු මට මෙහෙ එන්නත් බැහැනෙ. අපි ඕක ගොඩින් ඉවරයක් කරමු කියල මම කිව්ව.

“ඔන්න ඕකනෙ. මෙ මිනිස්සුත් බලගෙන, අපිත් කරදරෙ වැටෙන වැඩ” කියල මිනිහ මට පොලිස් බයිසිකලේ පෙට්ටිය ඇරල දුන්න. පර්ස් එකෙ තිබුනු එකම දාහෙ කොලේ පෙට්ටිය ඇතුලට දාල ලයිසන් එකත් අරගෙන ආඵු වාහනයට නැග්ගෙ එල්ලුම් ගස් නොගිහින් බේරුනා වගේ සතුටකින්.

ගාලු පාර දිගට ඉන්න පොලිස් අන්කල්ල අල්ලන වාහන වලින් හරි අඩක්වත් අනිවාර්යෙන්ම පොලිස් පොතේ ලියවෙන්නෙ නැතුව ගොඩින් ෂේප් වෙන ඒවා. ඒ ආදායම රජයට අහිමි වෙන්නෙ දඩ කොල ගෙවන්න පහසු ක්‍රමයක් නොමැති කම නිසා. දශක ගනනාවක් තිස්සෙ පවතින ක්‍රමය ඉබ්බ දියට දැම්ම වගේ පගා කාරයින්ටම හදපු ක්‍රමයක් කියල පොලිස්පති පුටුවට එන හැම පොලිස් ලොක්කම දන්නව උනත්, ඒක වෙනස් කරන්න යන්නේ නැත්තෙ ස්ට්‍රයීක් නැති පොලීසියත් ස්ට්‍රයික් කරයි කියන බයටද, නැතිනම් මම පොඩ්ඩ කාලෙ ගහපු ජරාව අනිත් පරම්පරවටත් දීමෙ සානුකම්පිත හැඟීමෙන්ද කියල හිතා ගන්න බැහැ.

ආපහු එන අතරෙ මතක් වුනෙ සමහර රටවල අධිවෙගී මාර්ග වල තියෙන සලකුනු. සමහර මාර්ග වල තැනින් තැන වාහන වේග සීමා ඉක්මනවද කියල කැමරා/ රේඩාර් මගින් පරීක්ෂාවට ලක්වෙනවා. හැබයි ඒ කැමරා ඇති තැන් ඔවුන් මාර්ග සලකුනු මගින් පෙන්නුම් කරනව.(හරියට ඉස්සරහ පොලිස් කාරයෙක් ඉන්නවනම් ලන්කාවෙ වාහන රියදුරන් හෙඩ් ලයිට් එක ගහනව වගෙ.)

ඉතින් මෙ මාර්ග සලකුනු දකින රියදුරන් ඉබේම තමන් ගමන් කරන වේගය අධික නම් එය අඩු කර ගන්නව. මාර්ග නීති බහුල ලෙස කඩකිරීම් සිදු වී ඇති නම් ඔහුගේ රියදුරු බල පත්‍රය අවලන්ගු වෙනව.

ඒ රටවල එහෙම හැදිල තියෙන්නෙ, එවැනි රටවල රජයෙ අරමුණ දඩ මුදල් ආදායම නොව සැබැවටම රිය අනතුරු අඩුකර ගැනීම නිසයි. 

නමුත් අපේ රටේ මුඛ්ය පරමාර්තය දඩ මුදල් ආදායම නිසා කවදාවත් මාර්ග නීති කඩ කිරීම් අඩු වෙන්නෙත් නැහැ. පොලිස් අය්යලත් දැන් සලෙස් රෙප්ල එහෙමත් නැත්නම් ප්‍රයිවෙට් බස් කොන්දොස්තරල වෙලා. දවසෙ ටාගට් කවර් කරල තමන්ටත් ගානක් හොයා ගන්න තමයි මේ ක්‍රමය හදල තියෙන්නේ.

ඒක නිසා, මේ ක්‍රමය මගින් කවරදාවත් මෙ අනතුරු සන්ක්‍යාව අඩු වීමක් සිදු වෙන්නෙ නැහ. ඒ වෙනුවට සිදු වෙනු ඇත්තේ රජයේ ටාගට් ආදායම ලැබීමත්, පොලිස් රෙප්ලාගේ මාසික ආදායම ඉහල යෑම පමණයි.

පුංචි සිද්ධියක් සෙනසුරාදා, අප්‍රේ 17 2010 

මේක අහපු කතාවක්.
අපෙ ගමේ ගෙදරක හිටපු වයසක සීය කෙනෙක් මිය ගියාට පස්සෙ, ගෙදර දෙන්නෙක් ලඟම තියෙන මල් ශාලාවට ගිහිල්ල ඇතිවෙලා තියෙන දෙබස මෙහෙමයි.

නිවැසියන්: මුදලාලි, අවමගුල් කටයුත්තක් සම්පූර්නයෙන් කරන්න කියක් විතර යයිද?

මල් ශාලා මුදලාලි: ඔක්කොම වැඩ වලට රුපියල් විසි තුන්දාහක් විතර යාවි

නිවැසියන්: එතකොට මුදලාලි “බොඩි’එක අපෙන් දැම්මොත් කීයක් විතර වෙයිද?

මුදලාලි: ඇයි ඕයි බොඩි එක තමුසෙලගෙන් නැතිව අපෙ තාත්තවද පෙට්ටියෙ ඇතුලෙ තියන්නෙ?

යහ පාලනය වෙනුවෙන් සඟ සමුළුවක්.. සෙනසුරාදා, පෙබ 13 2010 

රටේ යහපාලනය පිහිටුවීම තහවුරු කිරීම අරමුණු කර ගනිමින් ත්‍රෛනිකායික මහ නා හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සඟ සමුළුවක් කැඳවා ඇතිබව ලංකාටෘත් වෙබ් අඩවිය වාර්තා කරනවා. ශ්‍රි රෝහන ජනරන්ජන මහින්ද ආණ්ඩුව යටතේ මෙවැනි සඟ සමුලුවක් කැඳවීමට සිදු වීම සැබැවින්ම කිසිවෙකුත් අපේක්ෂා නොකල දෙයක්. මේ කැඳවීමට අත්සන් තබා ඇති අති පුජ්‍ය තිබ්බටුවාවේ සුමංගල හිමියන්, මහින්ද රටේ වසර විසි පහකට ජනාධිපති විය යුතු බව පැවසුවේ යන්තම් මාස හයකට පෙරයි.

මහින්ද ආණ්ඩුව ගොඩනැගීමට විශාල කාර්ය භාරයක් ඉටුකල සංඝය වහන්සේල මෙ සඳහා පෙරමුණ ගැනීම විශේෂ සිදුවීමක්. මෙතෙක් රටේ ඒකීය භාවය වෙනුවෙන්, බුද්ධාගමේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ප්‍රමුඛ සංඝරත්නය පලමු වතාවට යහ පාලනය සහ ප්‍රජාත්‍රන්තවාදය වෙනුවෙන් ඉදිරියට පැමිනීමත් අවධානය යොමු විය යුතුයි. එය අන්ධ රාජපක්ෂවාදීන්ගේ ඇස් ඇරවීමට සමත් වෙතැයි බලා පොරොත්තු වෙමු.

කොහොම වුනත් සෑම විටම එන්.ජි.ඕ, විදේශ කුමන්ත්‍රණ සහ දේශප්‍රෙමීත්වය යන වචන වලට මුවා වී සියලුම තුච්ඡ ක්‍රියාකරකම් සාධාරණීයකරණය කිරීමට වලිකන වීරවංශ නඩය මෙයට ප්‍රතිචාර දක්වන විදිහ ඉතාමත් විනෝදජනක වෙනවට කිසිම සැකයක් නැහැ. (මතක ඇතිව අයි ටී එන් නිවුස් බලන්න) සමහරවිට සමුළුව සඳහා ඇමරිකාව මුදල් යෙද වූ බව ගෝඨාභය කරුනු සහිතව ඔප්පු කරන්නත් බැරි නැහැ.

මෙවැනි කැඳවීමක් සඳහා බලපෑ ප්‍රධාන හෙතුව ජෙනරල සරත් ෆොන්සෙකාගේ (SF) අත් අඩංගුවට ගැනීම විය හැකියි. පැමිනිලිකරු, ජුරිය, නඩුකාර හමුදුරුවො යන චරිත තුනම එක විට රඟ දක්වන ගොඨාභය යටතේ පවතින යුද්ධාධිකරණයකින් SFට බලපොරොත්තු විය හැකි සාධාරණත්වය කුමක්ද යන්න අවිනිශ්චිතයි. දැනටමත් ගොඨාට අනුව හමුදාපති වසර 5 කට සිරගත කළ හැකියි. (එය බරපතල වැඩ සහිතවද නොමැතිවද යන්න කාසියක් උඩ දමා තීරණය කරනු ඇති ).

 ඊට අමතරව SF නිදහස් කර ගැනීම වෙනුවෙන් දිවයිනේ පැවැත්වුනු බොහො උද්ඝෝෂන වලට ආණ්ඩුවෙ මැරයින් පොලිස් ආරක්ෂාව සහිතව පහර දීමත් සිදු වුනා. රටේ නීතිය තව දුරටත් ආණ්ඩුවෙ අත වැසියන් සඳහා ක්‍රියාත්මක නොවෙන බවත් එය ක්‍රියාත්මක වන්නේ රාජපක්ෂ විරෝධීන් සඳහා පමණක් බවත් දැන් ඉතා පැහදිලියි.

දැස් හොඳින් පෙනෙනවුන් දකින දෙය මෙය වුනත්, ලපයි සිපයි කලාකරුවන් අතර මහින්ද වෙනුවෙන් කඩේ ගිය සංවේදී  “කලාරිට” වන සොමරත්න පවසන්නේ සරත් ෆොන්සෙකා අත් අඩංගුවට ගැනීම සාමන්‍ය නීතිය ක්‍රියාත්මක වීමක් බවයි. මුදලින් සහ බලයෙන් දැස් අන්ධ කර ගත් මෙ “කලාරිට” ට නොපෙනෙන දේ නම් පොලීසිය ආරක්ෂාව සහිතව මැරයින් නිරායුධ ජනතාවගේ උද්ඝෝෂන වලට පහර දෙන්නේ කෙසෙද යන්නයි. පොලීසිය පහරදීමෙන් නොනැවතී පහර කැමට ලක් වූවන් චූදිතයන් කර, උසාවියෙදී පිචං වන්නේ මන්ද යන්නයි. මර්වින් රූපවාහිනි සේවකයින් දඩයම් කරද්දී මෙ සාමන්‍ය නීතිය ක්‍රියාත්මක නොවුනේ මන්ද යන්නයි. උන්ම ගසා ගත් සංවේදි බෝඩ් ලෑල්ල උන්ගේ ප්‍රශ්න වලට පමනක් සංවේදි බව දැන්වත් ප්‍රේක්ෂකයින් තෙරුම් ගනු ඇති.  

ප්‍රගිත්ගේ අතුරුදහන් වීම, චන්දනගේ අත් අඩංගුවට ගැනීම ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමතිට සංවේදි නැහැ. ලංකා පත්තරෙට සීල් තැබීම ඔහුට වගක්වත් නැහැ. (එය ඔහු යු.එන්.පියෙන් ලද ආභාශය වෙන්න ඇති). මේ තත්වය ප්‍රේමදාස යුගය හෝ එයටත් වඩා දරුණුයි. ඉතාම නරක ප්‍රවනතාව නම් නීතිය ඉදිරියට දමා, නීතිය තමන්ට අවැසි සේ නිර්වචනය කරගෙන සිදු කරන මර්දනයයි. ප්‍රේමදාස යුගයේ ත්‍රිශූලය, කපුටා, කොළම ලෙස තීරු පුවත් පත් ගනනාවක් (යුක්තිය, රාවය වැනි විකල්ප පුවත් පත් වලට අමතරව) ප්‍රේමදාස ජනාධිපතිට එරෙහිව පලවුවත් කිසිම පුවත් පතක් සීල් තැබීමකට ලක් වුයේ නැහැ.

ඉතා දැඩිව මතුවන බිය නම්, 60% ක ඡන්ද පදනමක සිටින රාජපක්ෂලාගේ ක්‍රියාකලාපය මෙය නම්, ජනප්‍රියත්වය හීන වන විට ඔහුගේ ක්‍රියාකාරකම් කෙලෙස විය හැකිද යන්නයි. ඇතැම්විට චණ්ඩි මල්ලි එලිපිටම ආරූඨ වීමටත් බැරි නැත.

එබැවින් මේ සමුළුව රාජපක්ෂවාදි සිංහල බෞද්ධ, හදවතක් ඇති, නිදහස අගයන මිනිසුන්ගේ දෑස් අරවනු ඇතයි සුබවාදීව බලාපොරොත්තු වෙමු.

රාජපක්ෂ නොවන සියල්ලෝම දේශද්‍රොහීන් වීම.. බදාදා, පෙබ 10 2010 

සිදු නොවිය යුතු දේම මේ මොහොතේ සිදු වෙමින් පවතී. ලද ආරංචිය සත්‍ය බැව් දුරකතනය ඔස්සෙ සහතික කර ගත්තෙමි. ඒ මහින්දගෙ ඡන්දදායකයකු වු මගේ පියාගෙන්.

“ආරංචිය ඇත්ත. ජෙනරල්ව ඇරෙස්ට් කරලා” තාත්තා පුනරුච්චාරණය කලා. හැබැයි ඒ වචන වල ආණ්ඩුවෙ ඇමතියෙක්ගෙ ප්‍රකාශයක තියෙන උද්ධච්ච (ඇද්ද උඹට??) බව තිබුනෙ නැහැ.

මාස හයකට පෙර දේශප්‍රෙමි කඳවුරෙහි සිටි ජෙනරාල්, සිංහල ජනතාවගේ ප්‍රධාන  සතුරා වුනු ප්‍රභාකරන්ටත් වැඩිය දේශද්‍රොහී වෙලා. ඒ වෙනුවට පශ්චාත් යුද සමයේ සිංහලයින්ගේ ජනප්‍රිය රූපවාහිනී වීරයා වී සිටින ආදරණිය මර්වින්, රූපවාහිනියට වොයිස් කට් දෙමින් කියන්නේ, ජෙනරාල් හමුදාපතිව සිටියදි කුමණ්ත්‍රනය කල බවයි. මේ අත් අඩංගුවට ගැනීම මීට පෙර සිදු කල යුතුව තිබුනු බවයි. නමුත් අපේ අවාසනාවට ජනපති සංවේදි නිසා එය සිදු නොවුනු බවයි.

ඇත්තය. ජෙනරාල් ‍යුධාධිකරණයක පැමිනවිය යුතුය.

නන්දිකඩාල් කලපුවේ අමුඩයක් අන්දවා, දණ ගස්සවා, කුඩු මර්වින් හෝ ස්ත්‍රී දූෂක දුමින්ද හෝ යුද විරෝධී රාජිත ලවා, ඔලුවට වෙඩිතබා අනෙකුත් දේශද්‍රෝහින්ට පාඩමක් ඉගැන්විය යුතුය.

හේතුව සින්නක්කරයට රාජපක්ෂවාදීන් ලියාගෙන ඇති “දෙශප්‍රෙමී” විශේෂණය පාවිච්චි කිරීමයි.

 මෙතෙක් ආණ්ඩුව හංගාගෙන සිටි දෙයක් එලි වෙමින් පවතී. සැබැවින්ම ජෙනරාල් සහ ප්‍රභා සිට ඇත්තේ එකම කඳවුරකය. ජෙනරාල්ට මරා ගෙන මැරෙන ප්‍රාහරය එල්ල කොට ඇත්තේ හමුදාවේ සිටි දේශප්‍රෙමී කාන්තාවක් වන අතර ප්‍රභාව කොටුකර ගැනීමට හමුදාපති සැලසුම් කර ඇත්තේ වැරදීමකිනි. එය සැබැවින්ම ගෝඨාව කොටු කර ගැනුමට සිදු කල සැලසුමක් වැරදීමකි.

 නමුත් ජෙනරාල් ක්‍රීඩා අමාත්‍යාංශයෙ ලේකම් වෙලා හිටිය නම් මෙ තිරනාටකය මෙයට හාත් පසින්ම වෙනස් ලෙස ලියවෙන බව ඕනෑම රාජපක්ෂවාදියෙක් නොවන පොඩි ළමයකුට වුනත් වැටහෙනවා.

 ප්‍රශ්නය ඇත්තේ ලංකාව තුල ජීවත් විය යුත්තේ රාජපක්ෂවාදින් පමනක්ද යන්නයි.

 ඔබ රාජපක්ෂවාදියෙක් නම් පොලිස් සහ ප්‍රභූ ආරක්ෂාව සහිත ඉතාමත් සැපපහසු ජීවිත්යක් ගත කල හැකි බව මර්වින් සිල්වා, පියසිරි විජේනායක, මිලින්ද මොරගොඩ, රාජිත සේනාරත්න, රෝහිත අබේගුනවර්ධන, දුමින්ද සිල්වා, මහින්දානන්ද අලුත්ගමගේ වගේ මදාවියන්ගෙන්, මිනීමරුවන්ගෙන්, හොරුන්ගෙන්, ළමා අපචාරකයින්, දූෂිතයින්ගෙන් ගහන ඇමති ලිස්ට් එක අපිට කියල දෙනව. මින් රාජපක්ෂවාදි වීම යනු, ඕනෑම රාජපක්ෂ (විජේදාස රාජපක්ෂ හැර) කෙනෙකු කියන දෙයට එහෙයි කීම හැර වෙන මොන මගුලක්වත් නොවෙයි. 

 ලංකාව තුල ඊනියා රාජපක්ෂ වාදින් හැරෙන්නට අනෙක් උන්ගේ ජීවිත තවදුරටත් වටින කියන එවා නොවෙයි කියල අපි දැන් හොඳටම දන්නව. ලඟම උදාහරණය ප්‍රගීත් එක්නැලිගොඩ. ප්‍රගීත්ගෙ ජීවිතය මහින්ද අබේසුන්දරගෙ නැත්නම් හඩ්ඩගෙ රාජපක්ෂවාදි ජීවිතය තරම් වටින්නෙ නැහැ කියල පොලිසීය ක්‍රියා කරන විදිහෙන් පේනවා.

 බුද්ධාගම ප්‍රදර්ශනාත්මක දෙයක් කරගත් ශ්‍රි රෝහණ ජනරන්ජන මහින්ද තවදුරටත් මල්වතු අස්ගිරි අනුශාසනා පිලිගන්නා කෙනෙක් නොවන බව මල්වතු මහ නා හිමියන් පවසලා තිබුනා. ඔහු ජෙනරාල්ව අත් අඩංගුවට ගත්තෙ ඔහුගේ ආරක්ෂාව වැඩි කරන ලෙස ත්‍රයිනිකායික නා හිමිවරුන් එවන ලද ඒකාබද්ධ ප්‍රකාශයට දින කිහිපයකට පසුයි. (රට පාලනයට උපදෙස් දීම හමුදුරුවරුන්ගේ කාර්යය නොවුනත්, හැමදාමත් ඉතිහාසයේ රජවරු මහා විහාරික නා හිමි වරුන්ගෙන් අනුශාසනා ගෙන රට පාලනය කල බවත්, “මහා මහින්ද” ඒ මහා සම්ප්‍රදාය රකින නූතන නායකයා ලෙස ලොවෙත් නැති පාට වලින් මහින්දව සරසන චම්පිකට, විමල්ට නලින් ද සිල්වාට අයි ටි එන් නිවුස් වලට මෙ ගැන කියන්න තියෙන්නෙ එක දෙයයි. ඒ නායක හාමුදුරුවරු නෝර්වේ වලින් කුට්ටියක් අරගෙන ඇති බව).

 රාජපක්ෂවාදින් හැර අන් සියල්ලොම දේශද්‍රොහී නැතිනම් යු.එන්.පී කාරයින් ලෙස හඳුන්වන සංවේදී ජන නායකයින්ට ලංකා ඉතිහාසයේ පළමු බුද්ධි පරීක්ෂණය පිලිබඳ, මෙ දිනවල ලෙවක් නැතිව කුමන්ත්‍රණ සිහින දකින නලින්ද සිල්වාගෙන් සවිස්තරව අසා දැන ගත හැක. නෑයනුත් නොනෑයනුත් හැර තවත් පුද්ගලයකු සිටින බව තෙරුම් ගන්නට දෙවානම්පිය තිස්ස රජුට හැකි වූ නමුත්, රාජපක්ෂලාට සහ ඔවුන්ගේ යටත් පිරිසට ඒ හැකියාව නොමැති බව හොඳටම විශ්වාසයි. එය අපේ අනාගතය සුබ වන තරමටම විශ්වාසය.

මේ විපරීත කාලයකි..!! සඳුදා, ජන 11 2010 

සුනිල් මාධව – මම කුඩා කාලයේ සිටම ආදරය කරන කැමතිම පුවත්පත් කලාවේදියෙක්.  සුනිල් අය්යගෙ සත්‍යවාදියෙකුගේ දිනපොත මුලින්ම දිවයින පත්තරෙනුත් ඊට පස්සෙ ලක්දිව පත්තරෙනුත් කියවන්න පටන් ගන්න කොට මම අවුරුදු 10-12ක කොලු ගැටයෙක්. සුනිල් අය්යා ලක්දිව පත්තරේ පටන් ගන්නවෙලාවෙ ඊට ආධාර ලෙස අපේ නගර ශාලාවෙ තිබුනු විනී හෙට්ටිගොඩගෙ කාටුන් ප්‍රදර්ශනයට අය්යත් එක්ක ගිහිල්ල එතන තිබුනු කැටයට රුපියල් දහයක් ආඩම්බරෙන් දමපු හැටි තවමත් මත්කයි. ආඩම්බර හිතුනෙ මම ලොකු වැඩකට සම්මාදම් උනා කියන හැඟීමෙන්. ඇත්තටම සුනිල් අය්ය මගේ ලෝකයේ වීරයෙක්. ඔහුගේ සත්‍යවාදියෙකුගේ දිනපොත කියවල දෙඇස් කඳුලින් තෙත් කරගත් අවස්ථා එමටයි. අසරණයෙක් දිහා හිතේ තෙතමනයක් එක්ක බලන්න ඔහුගේ ලිපි මට මග පෙන්නුවා. එමෙන්ම ඔහුගේ අදීන බවට සාක්කි එමටයි. ඒවා නැවත නැවතත් සිහිගැන්විය යුතු දෙවල් නොවෙයි.

මේ සතියෙත් සිළුමිණෙත් “පුන්කලස” හැරුනම කියවන එකම ලිපිය වන සුනිල් අය්යගේ “ජීවිතය සුන්දරයි” කියවන්න ගත්ත. ලිපියෙ මැද හරිය කියවනොකොට හදිස්සියෙන් නැවතත් මුලට ඇස් යොමු කරල බැලුවා මේක ලියල තියෙන්නෙ වෙන කෙනෙක්ද කියලා. නැහැ සුනිල් මාධව තමයි. ඔහු ලිපිය අවසන් කරනවා මහින්ද දිනවිය යුතුයි කියලා. හිතට ආවේ මහත් කණස්සල්ලක්.

ඉතින් ඒකේ වැරැද්දක් තියෙනවද? වැරැද්දක් තියෙන්න බැහැනෙ. තමන් කැමති කෙනාටනෙ තමන් ඡන්දය දෙන්නේ. මම මටම කියා ගත්තා.

ඒත් දෙවියනේ මෙ ලිපිය පුරාවට සුනිල් අය්ය මහින්ද ආණ්ඩුවට කඩේ යන්නෙ සෝමරත්න යුවල අරලියගහ මන්දිරේ ෂොපිං යන ගානට.

සුනිල් අය්යෙ,

“ඔයාගේ ලිපියෙන් (සහ මීට කලින් ලිපි කිහිපයකිනුත්) හැඟෙන්නෙ ලංකාව තව්තිසා දෙව්ලොවක් කරපු මහින්ද වෙනුවෙන් ඡන්දය පාවිච්චි කල යුතු බවයි.

සූරියකන්දෙන් සෝමරත්න හම්බ කලාට සුනිල් අය්ය හම්බ කලේ නැහැ කියල අපි දන්නව. අඩුම ගනනේ තමන් නියෝජනය කරන කලාවට මහින්ද කෙලල තියෙන හැටිවත් ඔයාට පේන්නේ නැද්ද? කොටින්ම පබා වගේ ඇටිකිච්චන් නිලියෙකුටවත් තමන් කැමති දෙශ්පාලනයක් කරන්න බැහැ කියල ඔයාට පෙන්නේ නැද්ද?. ඔයත් හොඳටම දන්න අරක්කු ටික හින්දා මිනිහෙක්ට රුපවාහිනියෙ “පරසතුමල්” වත් බලන්න බැරි බව ඔයා දන්නේ නැද්ද? තමන් එදා දෙපලු කල රාජ්‍ය මාධ්‍ය, ප්‍රේමදාස යුගයටත් නොදෙවෙනි ලෙස පාවිච්චි කරන බව අඩුම ගනනේ ඔයා සිළුමිණේ ඉතිරි පිටු ටික කියවනවනම් තෙරුම් ගන්න බැරිද?  “

සුනිල් අය්ය “සත්‍යවාදියෙකුගෙ ජීවිතයක සිට සුන්දර ජීවිතයකට” මුල පුරාගෙන යනව කියල හිතන්න මම කැමති නැහැ. ඒ අනිත් අය වගේම මමත් කැමතියි මෙගේ වීරයො පාරිශුද්ධ විදිහට දකින්න. සමහරවිට සුනිල් අය්යට වයස හින්ද ගොඩක් දේවල් පේන්නේ නැතිව ඇති. එහෙමත් නැත්තම් ඔයාට දැන් සුලුයි කියල හිතෙන දේවල් අපි තරුණ හින්ද බරපතල විදිහට දකිනවා ඇති. (ඔයා ඉස්සර කලා වගේ)

අන්තිමට එක දෙයක් තේරුනා. මේක විපරීත කාලයක්.

 වීරයොත් එක්ක දුෂ්ඨයො, මැරයොත් එක්ක අහිංසකයින්, පූජකයොත් එක්ක ඝාතකයො, බඩුකාරයොත් එක්ක පත්තිනි අම්මල,  එකට එකම අරමුණක් වෙනුවෙන් පේ වෙලා ඉන්න වෙලාවක්.  ඇතැම්විට විය යුතු හොඳම දෙය නම් කාලයට ඉඩදී, තාවකාලිකව හෝ මේ මුරුගසං වරුසාවට අහුවෙලා අනිත් එවුන්ට තියෙන පිස්සුව හදාගැනීමයි. වැස්ස පායපු දාට අපි ඔක්කොම අලුත් ඉරක් යටදි එකතු වෙමු.

ඡායාරූපය: silumina.lk

දයාබර බිරිඳට නොකීවෙමි! ඉරිදා, ජන 10 2010 

“ඔයා කිසිම හැඟීමක් නැති කෙනෙක්”- අනුකම්පා විරහිතචෝදනාව

සමාවෙන්න ම’පිය බිරිය

හැඟීම් නොතිබුනා නොවේ

සත් වසකට උඩදි හමුවු

හෙරක් ඇවිත් මගෙ හදවත

මටත් හොරා රැගෙන් ගොසින්

අවුරුදු හතරකට පස්සෙ

පාරේ විසිකර තිබියදි

ඔබ ඇහින්ද ඒ හදවත

සමාවෙන්න දයාබරිය

ඒ හැතිරිය ඉතිරි කරල

නැහැ එකදු ශිරා ධමනියකුදු

හදවත උනුසුම් කරන්න

ඔබ හඬනා විට හඬන්න!

වැරදුනු “ආතල්” එක ඉරිදා, ජන 3 2010 

පාසැලෙහි උසස් පෙළ සමයෙහි ගතකරන අවුරුදු දෙකත් පාසැල් සමය නිමවීමත් සමග පැමිනෙන අවුරුදු දෙකක සමයත් ඕනෑම් තරුණයෙකුගෙ ජීවිතයෙහි තීරණාත්මක අවදියක් වෙනව. ඊට ප්‍රධාන හේතුව උසස් පෙළ සහ ඊට පසු අවදියෙහි සිසුවෙකුට තම නිවසින් හිමිවන නිදහස තමන්ගේ ජීවිතය තමනුත් නොදැනුවත්වම වැරදි මගකට ගමන් කරවිය හැකි වීමයි. මට වැටහෙන ලෙසට නම් තරුණයෙකු වඩාත් මිතුරු ඇසුරකට යොමු වෙන්නේ මෙ කාල පරාසය තුලයි.

අපි ඒ කාලය තුල “ආතල්’ ලෙස හඳුන්වාගෙන කරන හිතුවක්කාරකම් අණුවනකම් තමන්ගේ ජීවිතය අඳුරු දිශානතියකට ගෙන යන බව අපට ඒ කාලය තුල වැටහෙන්නේ නැහැ.

මට මෙහෙම හිතුනේ පසු ගිය දිනෙක සිදු වූ හද කම්පනය කල සිදු වීමක් නිසයි.. ඒ සිදුවීම මෙහෙමයි.

වතු අධිකාරි මිතුරෙකුගේ ආරධනාවකට දැරණියගල ප්‍රදෙශයෙහි සාදයකට සහභාගි වු අප ආපසු ගමනෙහි පසු කරමින් සිටියේ හොමාගම ප්‍රදෙශයයි.

“මචං ශිරොම්ව හම්බ වෙලා යන්ද? උන්ගේ ගෙවල් මෙ හරියෙ” මා සමග සිටි මිතුරා පැවසුවා.

ශිරොම් මගෙ ළඟ මිතුරෙකු නොවුනත් අප පාසැල් කාලයෙහි ඉතා දරුණු ලෙස පැතිරගිය (විශේෂයෙන්ම මුහුදුබඩ තීරයෙහි නගර ඉලක්ක කරගෙන) මත් උවදුරෙහි ගොදුරක් වුනු බව මම දැන සිටියා. ඔහුගේ පියා කොළඹ ප්‍රධාන පාසැලක නි‍යොජ්‍ය විදුහල් පතිවරයෙක් වුනු අතර මව ගුරුවරියක් වුනා.

 මිතුරාගේ මතකය ඔස්සෙ අපි නිවසකට ලඟා වුනා.වල් බිහි වී තිබුනු මිදුලෙහි අපි වාහනය නතර කලා. නිවසින් එලියට පැමිනියේ වයස අවුරුදු 60ක් පමණ වු සාරියක් හැඳගත් කාන්තාවක්. ඇය ශිරොම්ගෙ මව විය යුතු බව මම අනුමාන කළා.

 ”ආන්ටි ශිරෝම් ඉන්නවද?”

“පුතා කවුද?” මගේ මිතුර තමන්ව හඳුන්වා දුන්නා.

 ඒත් එක්කම නිවසින් එලියට ආවෙ ඇවිදින ඇට සැකිල්ලක්.  ඒ ශිරෝම්. කට දෙපසින් සුදු පැහැ වේලුම් කෑ සෙවල ගතිය කියා පෑවෙ ඔහු ඒ වන විටත් මත් වී සිටි වග.

 ”අම්මට හුඩු උඹ කවද්ද ලංකාවට ආවෙ?” ඔහු මගේ මිතුරාව වැළඳ ගන්න ගමන් කිව්ව.ඒ වැළඳ ගැනීම හර්දයාංගම එකක්.

නමුත් උගුර කෙලවරින් ආපු ගොර හැඩි කට හඬ මට මතක් කලේ මරදානේ ප්‍රයිවෙට් බස් ලෝඩ් කරන මනුස්සයෙක්ව.

 ” ඉඳා සිගරට් එකක් බීපන්” ශිරෝම් දික් කරපු සිගරට් එක ගන්න අපි පැකිලුනේ ඔහුගේ මව තවමත් අප ඉදිරිපිට සිටි නිසයි.

 ”ගනින් ගනින් බන්” කියල ඌ සිගරට් එක පත්තු කර ගත්ත. ඌට දැන් මොකෙක්වත් ලොකු නැහැ කියල මට තෙරුනා.

 ඊට පස්සෙ ඇහුනේ ශිරොම්ගෙ අම්මගෙ කටහඬ.

 ”පුතාල හෙට ආවනම් අපිව හම්බ වෙන්නෙ නැහැ. අපි මේ ගේ විකුනල අද මෙහෙන් යනව”

 ”ඇයි ඒ” කියල මම ඇහුව.

 ”මෙයත් එක්ක මෙහෙ ඉන්න බැහැ පුතේ. තාත්තා මැරුනා මෙයා ගැන හිතලම ලෙඩවෙලා. ඊට පස්සෙ ගෙදර තිබුනු වෑන් එක විකිණුවා. ඊට පස්සෙ එයාට අතට අහුවෙන හැම දෙයක්ම විකුනල කුඩු ගැහුවා. දැන් හැමොටම ණයයි මෙයාගේ වියදම් වලට”

“අනේ පුතේ, පුලුවන්නම් ඔයා ඉන්න රටටවත් ගන්න” ඒක ආයාචනයක්.

 මට පුදුම හිතුනා ඒ අම්මගෙ ඇස්වල එක කදුලු බිංදුවක්වත් වත් නොතිබුන එක ගැන. පස්සෙ මට තේරුනා අවුරුදු ගානක් කුඩු ගහන පුතෙක් එක්ක හිටපු අම්ම කෙනෙක්ගෙ ඇස්වල කදුලු ඉතිරි වෙන්න විදියක් නැහැ නේද කියල.

 නමුත් තමන්ගෙ පුතා වැනි දරුවන් දහස් ගනනකට නිවැරදි මග කියා දුන්නත් තමන්ගේ පුතාව නිවැරදියයි කියන සමාජ සම්මතය වෙත යොමු කර ගත නොහැකි වීම ගැන ඇයට කුමක් සිතෙනු ඇත්ද? තම එකම පුතු සමග එක පංතියෙ අකුරු කල මිතුරා අද සිටින සමාජ තත්වය ගැන සිතද්දී ඇයට සියපුතු මේ තත්වයට පත් කල වුන් ගැන වෛරයක් නොසිතෙනු ඇතිද?

 ආපසු එද්දි අපි දෙදෙනා අතර තිබුනේ දැඩි නිහඬ බවක්.

 “මට පිස්සු හැදුනා බන් උන්ගෙ අම්ම ඉවසන් ඉන්න විදිහ දැකල” මෙතෙක් වෙලා කමිස සාක්කුවේ දාගෙන සිටි ශිරොම් දීපු සිගරට් එක පත්තු කරගන්න ගමන් මම කිව්වා.           

පිළිතුරු ලෙස ආවෙ ම’මිතුරාගෙ බිඳුනු කට හඬ.

 ”මට හිතාගන්න බැහැ බන්. මමයි ශිරෝමුයි එකට පලවෙනි පාරට ආතල් එකට කියල ඌ ගෙනාපු කුඩු ටික ගැහුවෙ. අද බලපන් ඌ ඉන්න විදිහ.”

 ඔහුගේ සිතේ ඇති වී තිබු කැලඹීම මම හොඳින්ම තෙරුම් ගත්තේ ඔහු මගේ හොඳම මිතුරා වූ නිසයි.

දඹුලු ගොස් තල ගොයින් මැරීම බදාදා, දෙසැ 23 2009 

කතරගම දේවාලය සහ කිරි වෙහෙර වැඳ පුදා ගත් අපි දිවා අහාරය ගැනීමට තොරා ගත්තේ තිස්ස වැව ඉස්මත්තේ තියෙන සංචාරක හෝටලයක්. ඊට පෙර දින රාත්‍රියේ දීර්ඝ මුහුදු බඩ ගමනකින් හෙම්බත් වී සිටි මා නැවතත් එම මාර්ගයේ ආපසු පැමිනිමට ප්‍රියතාවයක් දැක්වුවෙ නැහැ.

ඊට පිලියමක් ලෙස රියදුරු යෝජනා කලේ ඇඹ්ලිපිටි මාර්ගය ඔස්සේ කොළඹ පැමිනීමට. ගමනට එක් වී සිටි මිතුරන් දෙදෙනත් ඔවුන්ගේ බිරියනුත් ඊට අකමැත්තක් දැක් වූවෙ නැහැ.

ඒ අනුව ඇඹිලිපිටි මාර්ගය ඔස්සෙ අපි ආපසු ගමන ආරම්භ කලා.

“එලවලු ටිකක් ගන්න ඉස්සරහින් නවත්තමු” චමරිගෙ යොජනාවට වාහනය හමු වූ පලමු එල්වලු කඩය ලඟ නැවතුනා.

කඩයක් කිව්වට ඒක අට්ටාලයක්. එලවලු මැස්ස පිටු පස්සෙ තිබුනෙ අඩක් සාදා නිම කල කුඩා නිවසක්.

වාහනය් නතර වනවාත් සමගම ඉදිරියට ඩිව ආවෙ අවුරුදු 8ක පමන පුංචි කොලු ගැටයෙක්. ඌ පාසැල නිම වූ සැටියෙම එතනට පැමිනි බව අපිට කිව්වෙ ඇඳගෙන හිටපු සුදු කමිසෙයි නිල් පාට කොට කලිසමයි.

“මේ දිවුල් ටික ගන්න” පොඩි එකා තරමක භාජනයකට දමාපු දිවුල් ගෙඩි ටිකක් දික් කරා.

“කීයද?”

“මෙ ගොඩම සීයයි නොනා, ගහෙන් කඩපුවා නෙමේ. වැටිච්ච දිවුල්”  පුංචි අත් දෙකට දිවුල් ගෙඩි දෙකක් දික් කරගෙන කියනවා.

“අපූ සියක් වැඩ්යි. කොලඹත් ඒ ගානනෙ” චමරි කියල ඉවර වෙනවත් එක්කම වාහනෙයි හිටපු අනිත් ගැහනු කට හඬින් පිට වුනෙ ” වාහන දැක්කම කොහොමත් ගනන් වැඩි කරල කියන්නේ” කියල.

පොඩි එකා දික් කර ගෙන හිටපු දිවුල් ගෙඩි දෙක ආපහු භාජනයට දැම්මෙ පුංචි ඇස් දෙක බිමට හරවගෙන. හරියට ලොකේ ලොකුම වැරද්ද කරල අහු උන එකෙක් වගේ. උට ලැජ්ජ හිතෙන්න ඇති. හැබයි මට විශ්වාසයි මෙ කතාව ඌ අහපු පලවෙනි පාර නෙමෙයි කියල. ඒත් එක්කම මට මතක් උනේ මීටෙ වසර කිහිපයකට පෙර “දිවයිනේ” චන්දො (මතකය නිවැරදි නම්) මෙ වගේ සිදුවීමක් ගැන තබල තියපු සටහන. 

මීට පැය කිහිපයකට පෙර කිහිප දෙනෙකුගේ දිවා ආහාරය වෙනුවෙන් දහසෙ කොල කිහිපයක් හොටලයකට  වියදම් කරපු පංචස්කන්ධ ටික රුපියල් සියයක දිවුල් ගොඩකට කේවල් කරන්නේ හරියට තමන්ගේ අන්තිම වත්කම දිය කරල හරිනව වගේ. ඊට අමතරව දහසක කතන්දර තොගයකුත් එක්ක.

මෙතනදි වැඩ කරන්නෙ සකසුරුවමද? නැත්නම් අපි හැමොවම වෙලා ගෙන තියෙන ආත්මර්ථ්යද? එහෙමත් නැතිනම් ආදි කාලයෙ සිට එන සිංහලයාට හුරු දඹුලුත් ගිහින් තල ගොයි(වී)න් මරා ගෙන ඒමේ න්යායද?

තවත් එක් සිදුවීමක්! බ්‍රහස්පතින්දා, දෙසැ 17 2009 

මීට වසර කිහිපයකට කලින්, මට ඇයව හමු වුනේ අහිමි වෙච්ච ආදරය අමතක කරන්න යාලුවොත් එක්ක රැ එලිවෙනකම් ගත කරපු කැරොකෙ එකකදි.

එදා එයාගේ කස්ටමර් වුනෙ මම. එළි වෙනකම් එයත් එක්ක ඩාන්ස් කරල එලියට එද්දි මම එයාට මගේ ෆෝන් නම්බර් එක දුන්නෙ ඇයි කියල මම අදටත් දන්නෙ නැහැ.

හැබැයි පහු වෙනිදා දවල් වෙද්දි එයා මට කෝල් කලා. අපි වැඩකට නැති ගොඩක් දෙවල් කතා කලා. කැරොකෙ එකෙ අයිතිකාරය ගැන, වැඩ කරන අනිත් ළමයි ගැන. දෙන්නටම වැඩක් නැති ගොඩක් දේවල් ගැන.

එයාගෙ කෝල් එක මාව අයිත් පාරක් ඒ කැරොකෙ එකටම ඇද්දුවා. අතේ තියෙන ගානට කෙල උනත් මට යන්න හිතුනා. එලි වෙනකම් ඩාන්ස් කරන ගමන් එයා මට එයා දිහා ඔරවන් බලන් ඉන්න මනුස්සයෙක්ව පෙන්නුවා. එදා රෑ මට මතක එච්චරයි.

ඊට පස්සෙ දවසක අනිත් ඕනැම අවස්ථාවාදී කොල්ලෙක් අහන විදියට මමත් එයාට කිව්ව “මට ඔයාව හම්බ වෙන්න ඕනා” කියල. එයා කැමති උනා.

දවසක උදෙන් අපි හමු වුනා, මොරටුවෙදි.

බස් එකෙන් අවිත් බැස්ස වැල්ලවත්තෙන්.

ෆිල්ම් එකක් බලන්න වෙලා තිබුන නිසා අපි මම අකමැති, එත් එයා කැමති මුහුදු වෙරළ පත්තට ගියා.

මෙතෙක් දවසක් ලෝක ප්‍රශ්න ගැන කතාකරපු මම එයා ඉගෙන ගත්තු ඉස්කොලෙ ඇහුව. ඒක කොන්වන්ට් එකක්.

“එතකොට ඇඩ්වන්ස් ලෙවෙල්?” “පාස්”. (ඒ එකක් සිංහල වලට )

“ඉතින් මොන මගුලක්ද කැරොකෙ එකක කරන්නෙ?”

එයා ඇස් බිමට හරව ගත්තා. හැබයි ඇඬුවෙ නැහැ.

එයා දිගට කතා කරන්න ගත්තා.

“ඔයාට මත්කද මම ඔයාට එදා පෙන්නපු මනුස්සය? (මනුස්සය මතක නැහැ. පෙන්නුව කියල මතකයි.)

“ඉතින්? එ මගේ කලින් බොයි ෆ්‍රෙන්ඩ්”.

“නැහ්?” “ඔව්”

“මම මෙහෙට එන්න කලින් ඉඳන් එයාව දන්නෙ. එයා අපෙ ගෙදර නිතරම යන්න එන්න ගත්ත.

දවසක් මම ගෙදර එන කොට එයා අම්මත් එක්ක ඇඳේ! (හෙන ගහපිය )”

“ඉතින් ඔයා ගෙදරින් ගියාද?”

“කොහේ යන්නද? ඔයගොල්ලන්ගෙ ගෙදර එන්නද?”

“සොරි”

“පොඩි කාලෙදිම තාත්ත නැති උන මාව බලා ගත්තෙ අම්මා. මම දන්නව එයා කොච්චර දුක් වින්ඳද කියල.”

“දැන් අරූ මොකද කරන්නේ?”

එයත් දැන් අපෙ ගෙදර, ඒ මදිවට රස්සාවක් තියෙනව කියල මාව මෙතෙන්ට ගෙනත් දැම්ම.”

අම්ම හිතන් ඉන්නෙ මම හොටෙල් එකේ රිසෙප්ශනිස්ට් කියල.

කතාවත් එක්ක ඇත්තටම මාව ගල් උනා.

“අපි මොනව හරි බොමු”. මම කිව්ව. එයා හිනාවෙල ඔලුව වැනුවා.

අපි දෙන්න සැවෝයි එක ඉස්සරහ තියෙන කඩෙන් ෆලුඩා දෙකක් බිව්ව.

“අපි දැන් යමුද?” එයා මුකුත් කිව්වෙ නැහැ.

101 බස් එකක් එනකම් අපි බලන් හිටිය.

කතාවට වගේම බස් එකක් එන්නත් එච්චර වෙලා ගියෙ නැහැ.

බස් එකට නගින කොට එයා කියපු දෙය මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.

ඔයා ගොඩක් හොඳ කෙනෙක්”

මට මං ගැන ලැජ්ජ හිතුනා

ඉදිරි පිටුවට »

Follow

Get every new post delivered to your Inbox.